Pages

Tuesday, March 31, 2009

ඔබම නමක් කියන්න. 6 කොටස

කැමති වැඩ, අකමැති වැඩ, කළ යුතු වැඩ, නොකර බැරි වැඩ. මේ හැම වැඩක් එක්කම දවස කොහොම ගෙවුනද කියල මට දැනුනෙවත් නෑ. ඒත් නිදහසක් ලැබුනු හැම වෙලාවකම, සිගරට් එකක් පත්තු කරපු හැම වෙලාවකම මට ඒ කෙල්ලව මතක් වුණා. ඒ හැම වෙලාවකම මම හෑන්ඩ් ෆෝන් එකෙන් වෙලාව බැලුවා. 10.30, 12.00, 2.00, 4.00. තව ටිකයි. තව බොහොම ටික වෙලාවයි. හරියටම හවස 5 වෙද්දි ඔෆිස් එකෙන් එලියට බැස්සෙ මට වැඩක් එහෙම ආවොත් ෂේප් කරන්න කියල මගේ යාළුවෙකුට කියාගෙන. බස් එකක එල්ලිලා ගේ ගාවට එන්න විනාඩි 20 කට වැඩිය ගියේ නෑ. හොඳ වෙලාවට ඔෆිස් ටයිම් එකට කළින් පැන ගත්තෙ. නැත්තං වෙනදට කාලකණ්නි බස් එක එන්න විනාඩි 40 ක් වත් යනව. මේ වෙලාවට ගෙදර කවුරුත් නෑ. කොහොමත් ගෙදර කට්ටිය එද්දි හවස 7 පහුවෙනව. මගේ යතුරෙන් දොරත් ඇරගෙන, ටක් ගාල පොඩ්ඩක් මූණත් හෝදගෙන, ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඟට දාගෙන මම බැල්කනි‍යට ගියා. 6 වෙන්න තව පැය කාලක් විතර තියෙනව. බිත්ති ඔරලෝසුව එහෙම පෙන්නුව. නිකමට වගේ මම හෑන්ඩ් ෆෝන් එකෙනුත් වෙලාව බැලුව. ඔව්... තාම වෙලාව 5.46 යි. ඒ කෙල්ල දැන්ම එන එකක් නෑ. ඒත් බැල්කනියෙන් ගේ ඇතුලට යන්න හිතෙන්නෙත් නෑ. මගේ කරුමෙට කෙල්ල වේලාසනින් ගියොත්? ඒ හින්ද මම බැල්කනියටම වෙලා ඉන්නව. වෙලාව කන්නත් එක්ක මම සිගරට් එකක් පත්තු කරගත්ත.

ඇත්තටම ඒ කෙල්ල ආවොත් මම මොනවද කරන්නෙ?

මෙච්චර වෙලාවක් නොහිතුනු ප්‍රශ්නයක් මට එකපාරටම හිතුන. පණ කඩාගෙන දුවගෙන ආවට මොකද ඒ කෙල්ලත් එක්ක සංවාදයක් ආරම්භ කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. මොනව අහන්නද, මොනව කියන්නද? මම පපුව පිරෙන්නම දුම් උගුරක් ඇද්ද. අනේ දෙයියනේ මේ දුම් වලින් මගෙ පපුව පිරෙනවා වාගෙම මගේ ප්‍රශ්න වලටත් උත්තර ලැබෙනව නම් කොච්චර දෙයක්ද? හරි... ඊයෙ මගේ අතින් වුනේ වැරදීමක්. මම බස් එක පෙන්නල අත වනපු එක ඒ කෙල්ල ඊයෙ තේරුම් ගත්තෙ වැරදියට. අද මම ඇත්තටම ඒ කෙල්ලට කතා කරනව. ඔව්.. මම කියනව ඒ කෙල්ලට ගේ ඇතුලට එන්න කියල. මම කියනව "එන්න, ඇතුලට ඇවිත් ඉඳගන්න. බොන්න සිගරට් එකක්"  කියල. මොන විකාරද මේ නන්නාඳුනන කෙල්ලෙක් මම කිව්ව පලියට ගේ ඇතුලට එයිද? අනික මම කොහොමද කෙල්ලෙකුට බලෙන් සිගරට් දෙන්නෙ? බම්බුව, එහෙනම් ඒ කෙල්ලම ඊයෙ ඇවිත් මගෙන් සිගරට් එකක් ඉල්ලුවෙ. ඉතින් අද මම දුන්නම මොකෝ වෙන්නෙ? මම තව දුම උගුරක් ඇද්ද. කුණු රහකුත් එක්ක මගේ තොල ටිකක් පිච්චුනා. රෙද්ද. සිගරට් එකත් ඉවරයි. බට් එක පාරට වීසි කරන ගමන් මම අනිත් අතින් ආයෙත් ෆෝන් එකෙන් වෙලාව බැලුව. 6 ට 5 යි. වෙලාව ඇයි මෙච්චර හෙමින් යන්නෙ? මොනව කරන්නද.. වෙලාවට ඉක්මණට යන්න කිව්වට ඉක්මණට යන්නෙත් නෑ. හෙමින් යන්න කිව්වට හෙමින් යන්නෙත් නෑ. ඇත්තටම ඒ කෙල්ල කවුද? මොනව කරන කෙනෙක්ද? සමහරවිට කැම්පස් කෙල්ලෙක් වෙන්නැති. මට එහෙම හිතුනෙ කැම්පස් එක තියෙන්නෙ අපේ ගෙදරට හෝල්ට් 2 කට විතර එහා නිසා. කැම්පස් කෙල්ලෙක් නම් ඇයි බස් එකට නඟින්න මේ බස් හෝල්ට් එකට එන්නෙ? කැම්පස් එක කිට්ටුවම බස් හෝල්ට් එකක් තියෙනවනෙ. අයියෝ ඇයි මේ ප්‍රශ්න මගේ ඔළුවටම එන්නෙ? මම ආයෙත් වෙලාව බැලුව. 6 යි 1 යි. දැන් නම් මට තවත් මේ බැල්කනි‍යට වෙලා ඉන්න බෑ. මෙහෙම වෙලාව බල බල මෙතන ඉන්නව කියන්නෙ හරියට මරනව වගේ වැඩක්. එක්කො තව සිගරට් එකක් බොනව. එතකොටවත් වෙලාව යයි. තව සිගරට් එකක් බොන්න නම් ආයෙත් කඩේට යන්න වෙනව. ඉස්සෙල්ල බිව්වෙ අන්තිම සිගරට් එක. කමක් නෑ කඩේ තියෙන්නෙ බස් හෝල්ට් එකත් එක්කම පාරෙ අනිත් පැත්තෙ, ඒ නිසා කඩේට ගියා කියල කෙල්ල මග ඇරෙන්න විදියකුත් නෑ. එහෙම හිතාගෙනම මම ආයෙත් පාර පැත්තට එබුනෙ ෂුවර් එකටම කෙල්ල ළඟ පාතක පේන්න නැති බව සැක හැර දැන ගන්න. නෑ... පේන තෙක් මානෙක කෙල්ලෙක් නෑ. ඉතින් මම පුළුවන් තරම් ඉක්මණට පර්ස් එකත් සාක්කුවට දාගෙන පහලට බැහැල දොරත් ලොක් කරගෙන කඩේ පැත්තට ටිකක් වේගෙන් ගියා. කඩේ පැත්තට ඇවිද්දත් මගේ ඇස් සැරින් සැරේ බස් හෝල්ට් එක පැත්තටයි දිව්වෙ.

"කීයද්ද මහත්තය?"

කඩේ අයිය හැමදාමත් අහන ප්‍රශ්නෙ ආයෙත් ඇහුව.

"5 යි"

සල්ලි දෙන්න ඕනෙ නිසා මම පර්ස් එක තියෙන සාක්කුවට අත දැම්ම. ඒත් එක්කම මට පිටිපස්සෙ හිටපු කවුදෝ මගේ උරහිසට තට්ටුවක් දැම්ම.

10 comments:

  1. පහුගිය කොටස් වලට දක්වපු ප්‍රතිචාර වලට ස්තුති වේවා. කියවපු සැමට ජය වේවා.

    ReplyDelete
  2. කවදා නතර කරයිද මේ දුම් බීම. කොතරම් දැනුවත් කලත්, පෙට්ටියේ ලියලා තිබ්බත් වගක් නෑ. ලෙඩ හැදුනම බෙහෙත් කරන්න වෙනම සල්ලියක් යනවා. සිගරට් බීම එපා වෙන තාලේ කතාවක් ලියන්න මල්ලි. සමාජයට අනවශ්‍ය දෙයක් මේ දුම් බීමනම්

    ReplyDelete
  3. කවුද තට්ටු කලේ කියලා දැනගන්න මං බලන් ඉන්නවා...........

    ReplyDelete
  4. මමත් බලාගෙන ඉන්නව කවුද පිටට තට්ටු කලේ කියල බලන්න.අනිවාරෙන් ලියන්න..මම විතරක් නෙවෙයි,අපි ගොඩක් අය බලන් ඉන්නව....ජය වේවා...!!!

    ReplyDelete
  5. As always its so mind numbingly beautiful

    @ Bo - I appreciate your thinking. I am a non smoker myself and I have a feeling that i will always be that way, but if i were to a judge a person by his love for the cigarette I think im being biased. Used in a context like this story, you have to appreciate the creative manner in which the writer narrates his addiction. Im totally in love with it :)

    ReplyDelete
  6. Nodaruwa,
    interesting story......waiting to read the next part. I know it'll be great!!;)
    just want to add to what 'a sweet thing' had said:
    I don't think this story is like an advertisement for cigarettes. Its about a guy who is blown away by a Kick-ass girl. so i think we should just appreciate the emotion of the story which has been written soooooo well. the cigarette is just an accessory.

    ReplyDelete
  7. අඩෝ, අපිට සිගරට් ප්‍රචාරක වලට අහු කරවන එක ඉවසුවා කියමුකෝ, ඒත් උඹ මෙගා කෑලි වලට වඩා හපන් විදියටනේ ඇද්ද ගන්නේ.

    මචෝ, කලිං කෑලි වල වගේ"හිතුනොත් ඉතුරු ටික පස්සෙ ලියන්නම්" "හිතුනොත් ඉතුරු ටික පස්සෙ ලියන්නම්" "මට හිතෙනව තව ලියන්න" "එක...දෙක...තුන...හතර...පහ...හය...හත...අට..." කියලා ඉවර කරන විදිහේ කෑලි එව්වා දාපං, ඒ ටිකේත් ගතියක් තියෙනවා බං.

    ReplyDelete
  8. meee........

    me sigga scene eka asse meya loku katawak dei wageeee.....

    adooo liyapan......

    ReplyDelete
  9. පණ කඩාගෙන දුවගෙන ආවට මොකද ඒ කෙල්ලත් එක්ක සංවාදයක් ආරම්භ කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. මොනව අහන්නද, මොනව කියන්නද?

    ඔයා හමුවුණාම මොනව කියන්නද
    මොනව කරන්නද කියලා
    හිතාගන්න බැරි
    මම සදුන්...

    ලස්සනයි.!!

    ReplyDelete