Pages

Sunday, April 12, 2009

ඔබම නමක් කියන්න. 7 කොටස

තට්ටුව ආවෙ කාගෙන්ද කියල බලන්න මාව පිටි පස්ස හැරුනෙ ඉබේටම. හොඳට දැකල පුරුදු මූණක්. ඒත් කරුමෙට නම මතක නෑනෙ. ෂික් විතරක්. දැන් මොකද කරන්නෙ?


"අනේ යකෝ! උඹේ ඔලුවෙ පොල් කොලද? මගේ කන ගාවින් උඹ දැන් විදගෙන ගියා. අඩු තරමේ මගේ නහයවත් උඹට පෙනුනෙ නෑ. මමම දුවගෙන ඇවිත් කතා කළාම දැන් හොල්මනක් දැක්ක වගේ මගේ දිහා බලාගෙන ඉන්නව."

"සොරි මචන්, මම වෙන කල්පනාවක ආවෙ."

කඩේ අයියට සල්ලි දෙන ගමන් මම එහෙම කිව්ව. හිස් පැකට් එකකට සිගරට් පහකුයි ඉතුරු සල්ලි වලට ටොෆි දෙක තුනකුයි මට ලැබුන.

"ඉතිං කොහොමද බං? දැං මොකෝ උඹ කරන්නෙ?"

නම මතක් කරගන්න හෝඩුවාවක් හොයාගන්න මම එහෙම කතාවට මුල පිරුව. ඒත් මටත් නොදැනිම මගේ ඇස් නිතරම එල්ල වුනේ බස් හෝල්ට් එක දිහාවට.

"වෙන මොනා කරන්නද බං, තාම කැම්පස් තමා."

හරියට හරි, මෙයා මාත් එක්ක ඒ ලෙවල් ක්ලාස් ගිය කෙනෙක් වෙන්න ඕනෙ.

"තාම කැම්පස්ද? මම හිතුව දැං අවුට් වෙලා ජොබ් එකකුත් කරනව ඇති කියල."

මගේ කට එහෙම උත්තර දුන්නට තාමත් මගෙ ඇස් තිබුනෙ බස් හෝල්ට් එක පැත්තෙ. ෂික්, මේ මනුස්සය නිසා අද මම මෙච්චර කැපවෙලා ආපු කාරණේ ඉෂ්ට කරගන්න බැරි වෙයි වගේ. අර කෙල්ල දැං ආවොත් කොහොමද මම මෙතනින් ගැලවිලා යන්නෙ? ඔක්කොම දේවල් පැටලෙනව එහෙම වුනොත්. ඒ මදිවට මට මේ මනුස්සයගෙ නම මතක් වෙන්නෙත් නෑ.

"මොන පිස්සුද, පටන් ගත්තෙත් අවුරුද්දක් පරක්කු වෙලා. ලබන මාසෙ තමා ෆයිනල් ලියන්න තියෙන්නෙ. ඒක නෙමෙයි මොකෝ උඹ සැරෙන් සැරේ බස් හෝල්ට් එක දිහා බලන්නෙ? කෑල්ලක්වත් එනව කිව්වද?"

මේ මනුස්සය දැන් නම් මට වදයක් වේගෙන එන්නෙ. මම බස් හෝල්ට් එක දිහා බලන බව මිනිහට තේරිලා. මොනව කියන්නද ඉතිං, ඇත්ත කියන්න බෑනෙ, බොරුවක්ම කියනව.

"නෑ මචං, යාළුවෙක් එනව කිව්ව. පොඩ්ඩක් පරක්කුයි වගේ. ඒකයි පොඩ්ඩක් බැලුවෙ."

මට එකපාරටම අතේ සිගරට් තියෙන බව මතක් වුනා.

"බොන්න මචං සිගරට් එකක්"

තාමත් නම මතක් කරගන්න බැරිවුන මගේ යාළුවට මම සිගරට් පැකට් එක දික් කළා.

"හා... හා... ලොක්ක, ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම්. උඹ දික්කරපු නිසා එකක් ගන්නම් පස්සෙ බොන්න."

මිනිහ එහෙම කියල සිගරට් එකක් අරන් උඩ සාක්කුවෙ දාගෙන ආයෙත් කතා කරන්න පටන් ගත්ත.

"කොහොමත් මම කඩේ පැත්තට ආවෙ සිගරට් එකක් ගන්න. දැන් කැම්පස් එක ගාව තියෙන පෙට්ටි කඩවල අපි ඉල්ලපුවම සිගරට් දෙන්නෙ නෑ. ඒ නිසා පයින් මෙතෙන්ට කොටන්න ඕනෙ සිගරට් ගන්න"

කැම්පස්, සිගරට්, පෙට්ටි කඩේ, කැම්පස් කට්ටියට පෙට්ටි කඩෙන් සිගරට් නොදීම, මෙන්න මේ කොටස් අතරට මං හොයන කෙල්ලත් යම්කිසි විධියකින් සම්බන්ධ කරන්න පුළුවන් කියල මට ඒ මොහොතෙ එක පාරටම හිතුන. ඉතිං මම හිතුව මටම වාතයක් වෙච්ච, මට තාමත් නම මතක් කරගන්න බැරි වෙච්ච මේ පුද්ගලයා එක්ක දිගටම කතා කරන්න. කොහොමත් මේ වෙනකොට අර කෙල්ල ඒවි කියල මගේ ඇස් වල ඉතිරි වෙලා තිබ්බ බලාපොරොත්තු සහගත බැල්ම මටත් හොරෙන් පැනල ගිහින්.

"මොකෝ මචං කැම්පස් එක ළඟ පෙට්ටි කඩේ උඹලට සිගරට් දෙන්නැත්තෙ?"

මම එහෙම ඇහුවම මගේ නම නොදන්නා මිත්‍රයාගෙ කටහඬ පොඩ්ඩක් වේගවත් වුනා.

"මේකනේ මචං, කැම්පස් එකේ සමහර කොල්ලො එළිපිට සිගරට් බොනව දැක්කම සදාකාලිකවම හැංගිලා සිගරට් බොන්න වෙලා තියෙන කොල්ලොන්ට මල පනිනව, ඒ වගේම තමන්ගෙ රත්තරං කොල්ල සිගරට්, අරක්කු කටේවත් තියන්නෑ කියල හිතන ගොන් කෙල්ලො ටික ෆුල් ෆෝම් වෙනව. ඉතිං මුන් දෙගොල්ලො එකතුවෙලා මුළු මහත් විශ්ව විද්‍යාල සමාජයම යහපත් එකක් කරන්න දරන උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට කැම්පස් එක ළඟ තියෙන පෙට්ටි කඩවලින් අපිට සිගරට් දෙන එක නැවතිලා"

ඒ කතාව ඇහුවම මගේ ඔළුව ඇතුලෙ කවුරුහරි දෙන්නෙක් ටෙනිස් ගහනව වගේ දැනුන. මොකද්ද මේ කතාවෙ තේරුම? ඒක අහන්නත් වෙන්නෙ මේ මනුස්සයගෙන්ම තමයි.

"මොකද්ද මචං ඒ කතාවෙ තේරුම?"

"කිසිම තේරුමක් නෑ බං, ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. තේරුම් ගන්න උත්සහ කළාම හිතෙන්නෙ මොකද්ද දන්නවද, කැම්පස් ඇවිල්ල ඉන්නෙත් මේ ලෝකෙ රහක් නැති මැටි පූසො ටිකක් විතරයි කියල. හැබැයි හැමෝම එහෙමයි කියල මම කියන්නෙ නෑ. ඇත්තට විරුද්ධත්වය පෙන්නන කොටසකුත් ඉන්නව. ඒත් මචං කරළියට එන්නෙ හැංගි හැංගි ආතල් අරගන්න සෙට් එක තමයි. සොරි බං, මේ බයිල ගහල මම උඹේ ආතල් එකත් කඩනව නේද? කෝ අර එනව කියපු උඹේ යාළුව තාම ආවෙත් නෑ නේද?"

අනේ මන්ද මේ මනුස්සය මොනව කියනවද කියල ඇත්තටම මට තේරෙන්නෙ නෑ. ඇත්තම කියනව නම් මට මේ කතන්දර අහන්න ඕනෙත් නෑ. ඒත් ඉතින් අල්ල ගත්ත කොටි වලිගෙ අත අරින්නත් බෑනෙ.

"අයියෝ එහෙම එකක් නෑ බං."

ඒත් මට කොහොම හරි දැන ගන්න ඕනෙ අර කෙල්ල හා සම්බන්ධ තොරතුරක්.

"ඒක නෙමෙයි මචං, කැම්පස් එකේ සිගරට් බොන කෙල්ලො නැද්ද?"

මම මගේ ප්‍රශ්නෙ අමුවෙන්ම එළියට දැම්ම.

"හෙහ්"

මිනිහගෙ කටට හිනාවක් ආව.

"උඹ අහන්නෙ ලංකාව ගැනද, නැත්තං වෙන රටක් ගැනද?"

"ලංකාව ගැන බං, මම අහන්නෙ උඹලගේ කැම්පස් එකේ ඉන්නවද කියල."

"ඇති බං ඇති. අඩු තරමේ එක්කෙනෙක් හරි ඇති. මං කියන්නෙ එක්කෙනෙක් හරි ඉන්නව නම් ඒක ලොකු දෙයක්. ඒත් සමාජය තුල ඒවගේ කෙල්ලෙක් දරන මතවාදය මොකද්ද කියන එක තුල තමයි ඒ කෙල්ලගෙ වැදගත් කම තියෙන්නෙ. නිකන්ම නිකන් සිගරට් බොන කෙල්ලක් නම් ඒකිගෙන් ඇති වැඩේ මොකද්ද?"

මේ මනුස්සය මට ඕන උත්තරේ ඇරෙන්න අනිත් හැමදේම දන්නව.

"මොකද්ද මචං ඒ කතාවෙ තේරුම?"

මම එහෙම ඇහුවෙ තව දුරටත් මට ඕන කරන උත්තරේ හැංහිලාවත් තියේවිද කියල බලන්න.

"තේරුම නේද.... මම උඹට අද කැම්පස් එකේ වෙච්ච සීන් එකක් කියන්නම්. ඒකෙන් උඹට පුළුවන් වෙයි මේක තේරුම් ගන්න. අද කැම්පස් එකේ ෆස්ට් ඉයර් කෙල්ලෙක් කොට ස්කර්ට් ඒකක් ඇඳගෙන ආව. මම හිතන්නෙ මම කැම්පස් ගිය මේ අවුරුදු හතරටම කැම්පස් එකේ දැකපු කොටම ස්කර්ට් එක ඒක. ඉතිං හුඟක් කොල්ලො ඇහැ ගහගෙන හිටියෙ ඒකට. ඕක ඉතිං විශේෂ දෙයක් නෙමෙයිනෙ. කොට ඇඳුම් තාම අපේ උන්ට මැජික්. මොනව කරන්නද."

මිත්‍රය කතාව ටිකකට නැවැත්තුව.

"ඉතිං?"

මම හොයන කෙල්ල ගැනද දන්නෙ නෑ මේ කතාව. ඒකයි මගේ කුතුහලය.

"ඉතිං නේද.... ඔන්න බලපන් වෙච්ච දේ. ෆස්ට් ඉයර් බැච් ටොප් වෙච්ච දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කෙල්ලෙකුයි ඒකිගෙ යාළුවයි මේ කොටට ඇඳපු කෙල්ලට පැත්තකට කතා කරල කියල නංගියෝ, කැම්පස් එද්දි ඔහොම කොටට අඳින්න හරි නෑ නේද? ඔයාට ප්‍රශ්නයක් නැති වුනාට අපිට පිරිමි ළමයි කට්ටියක්ම කිව්ව ඔයාට කියන්න කියල මීට පස්සෙ ඔහොම අඳින්න එපා කියල. ඉතිං බලපන් මුන්ගෙ මානසිකත්වය, උඹට තේරෙනව නේද? අර ගෑණි බැච් ටොප් වුනාට කිසිම ඵලයක් නෑ කියල. ඒකිගෙ මතවාදය තමා වැදගත් වෙන්නෙ. මම කියන්නෙ ඒක තේරුමක් නෑ කියල."

ඒ පාර නම් මට දැනුනෙ ඔළුවට ගල් ඉන්නකින් ගැහුව වගේ හැඟීමක්. අහම්බයකින් මුණගැහුනු මේ මනුස්සය මේ තරම් මගේ ඔළුව හොලවාවි කියල මට නිකමටවත් හිතුනෙ නෑ. ඒ ඔක්කොටමත් වඩා මේ මනුස්සය කියන කිසිම දෙයක පැහැදිළි සම්බන්ධයක් ඇත්තෙත් නෑ. තේරුමක් නැත්තෙත් නෑ. දෙයියනේ මට මේ මනුස්සයගෙ නම මතක තිබ්බ නම්?

"මොකෝ මචං කල්පනා කරන්නෙ? මම කියන කතා පොඩ්ඩක් අප්සෙට් වගේ උඹට හිතෙනව ඇති. සොරි මචං, කතා කරන්න ගියාම මොනව කියනවද කියල මමම දන්නෙ නෑ. ඒ තරමට මගේ හිතේ දේවල් තියෙනව. ඒත් පිළිවෙලකට එළියට දාන්න තේරෙන්නෙ නෑ. ඒක නෙමෙයි, මොකටද උඹ සිගරට් බොන කෙල්ලෙක් හොයන්නෙ?"

"නෑ මචං, මැගසින් එකක් කරන යාළුවෙක් කිව්ව ආර්ටිකල් එකක් ලියල දෙන්න කියල. ඉතිං මට හිතුන අමුතු දෙයක් ගැන ලියන්න. ඒකයි සිගරට් බොන කෙල්ලෙක් හෙව්වෙ."

ඒ ක්ෂණික බොරුව මගේ කටට කොහෙන් ආවද කියල මමම දන්නෙ නෑ.

"ලියනව නම් මචං මම කියපු දේවල් ගැනත් පොඩ්ඩක් හිතල ලියපන්. මම එහෙනම් කැපෙනව. අහ්.. මට දීපංකො උඹේ නම්බර් එක."

මම මගේ නොම්මරේ කිව්ව. මිනිහ මට එවෙලෙම මිස් කෝල් එකක් දුන්න. මිනිහ අගේට මගේ නමත් හොඳටම දන්නව. ඒත් මට මිනිහගෙ නම මතක නෑ.

"එහෙනම් මචං අපි ගියා. ජය වේවා."

එහෙම කියාගෙන මිනිහ පාර පැන්න. මට හිතුන ඇත්තටම ලැජ්ජාව පැත්තකින් තියල නම අහන්න.

"මචං"

මම එහෙම කෑ ගැහුවෙ ඒ වෙනකොට මිනිහ හිටියෙ පාරෙ අනිත් පැත්තෙ නිසා.

"ඇයි බං?"

"නෑ මම උඹට පස්සෙ කෝල් එකක් දෙන්නම්"

මම එහෙම කියල සිගරට් එකක් අරන් මගේ තොල් අතරින් තියාගත්ත.

"එළ"

එහෙම කියාගෙනම එතකොටම ආපු බස් එකේ මිනිහ එල්ලුනා. මම ගේ පැත්තට හැරුන.

12 comments:

  1. ඔන්න 7 කොටස දැම්ම. පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න.
    ජය වේවා!

    ReplyDelete
  2. ඔන්න මාත් කොටස් 7ම කියෙව්ව.මට නම් තාම ඔයවගේ අත්දැකීමක් නැහැ ඔය වගේ.ඒ නිසා කථාව හොදට රස විදින්න පුලුවන්.

    ReplyDelete
  3. fucking brilliant dude ! fucking brilliant!!

    ReplyDelete
  4. ඕයි! කෝ කෙල්ල. තමුසේ පිස්සු පොරක්නේ ඕයි! කෑලි කෑලි කතා දාලා. අද කොටසේ කෙල්ලත් නෑ......හයියෝ මට වුනු වින්නැහියක්! උඹේ මේ කෙහෙම්මල් බ්ලොග් එකට ආපු දවසේ ඉඳන් මාත් අර මන්ද බුද්ධික ටෙලිනාට්‍ය වලට ඇබ්බැහි වුන එකෙක් වගේ මේ සිගරට් කතාව කියවන්න ඇබ්බැහි වෙලා :)

    අනේ ඊළඟ කොටසටවත් කෙල්ල සහිත මායාකාරී දර්ශණයක් ඇතුල් කරහංකෝ බං..........

    ජය!

    ReplyDelete
  5. ara kotata andina scene eka kohomada enter une?

    liyagena palayan....... jayawewa...

    ReplyDelete
  6. namak nathi unath aduwak nam na kiyawanna hithenava digatama liyanna

    ReplyDelete
  7. හ්ම්... මම කියවන්න පටන් ගත්තෙ 7න්.. කමක් නෑ. මරු කතාව. දිගටම ලියන්න.

    ReplyDelete
  8. Fuck That I have missed this and Newer Parts! Dude you are really awesome!!!

    Keep it up!!!

    ReplyDelete