Pages

Sunday, March 22, 2009

ඔබම නමක් කියන්න. 4 කොටස

දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ හිස් සිගරට් පැකට් එකක්, කිසිම දවසක කිසිම කෙනෙක් මගෙන් ඇහුවෙ නැති ප්‍රශ්නයක් සහ වුනේ මොකද්ද, කළ යුත්තේ මොකද්ද කියල හිතා ගන්න බැරි අවුල් වෙච්ච ඔළුවක් විතරයි. මේ සියල්ල පිළිබඳව සිතන්නට අසාර්ථක උත්සහයක් දරමින් ඉන්න මොහොතෙ පොඩි එකෙකුගේ කෑ ගැහිල්ලකින් මගේ භාවනාව බිඳුනා.

"පොඩි මාමි, පොඩි මාමි අපි ආව!"

කාලය පිළිබඳ කිසිම හැඟීමක් නැතිව මම මගේ ලෝකෙ තනි වෙලා උන්නු අතර වාරයේ කාලය මට නොකියාම අපේ ගෙදර කට්ටියව අරන් ඇවිත්. එක අතකට ඒක ලොකු උදව්වක්. දැන් මට තව දුරටත් කළින් සිදුවූ දේවල් ගැන හිතන්න ඕන වෙන්නෙ නෑ. අක්කගෙ පොඩි එකාගෙ වද බන්ධන, වැඩකට නැති රූපවාහිනී වැඩ සටහන්, අම්මගෙ බත් පිඟාන, නැවතත් වැඩකට නැති රූපවාහිනී වැඩ සටහන් ආදී වශයෙන් ඔරලෝසුවේ පැය කටුව ගියේ තත්පර කටුවේ වේගයෙන්. පොඩි එකා සැටිය උඩ නිදා වැටෙද්දි තමයි හැමෝටම මතක් වුනේ දැන් නිදා ගත්තොත් හොඳයි කියල. කවුරු කවුරුත් නිදා ගනිද්දි මම ඔහේ ටීවී එක දිහා බලාගෙන හිටිය. බස් හෝල්ට් එක කෙලින්ම පාරෙන් එහා පැත්තෙ තියෙන පෙට්ටි කඩේ අන්තිම ලෑල්ල වහද්දි කොහොමත් රෑ 11 වෙනව. දැන් 10.30 යි. ඉතින් ටීවී එක දාල තියෙද්දිම මම කාටත් නොදැනෙන්න පාරට බැස්සෙ රුපියල් 20ක් සාක්කුවෙ දාගෙන.

"කීයද්ද මහත්තය?"

කඩේ අයියා දන්නව මම සිගරට් සහ ටොෆි ඇරෙන්න වෙන කිසිම දෙයක් එතනින් ගන්නෙ නැති බව. ගෝල්ඩ් ලීෆ් එක ප්‍රවේසමට උඩ සාක්කුවෙ දාගෙන ඉතුරු සල්ලි වල ටොෆි ගත්තෙ අක්කගෙ පොඩි එකා හිටපු ගමන් ඇවිත් මොනව හරි දෙන්නකෝ කියල ඉල්ලපුවම දෙන්න පුලුවන් නිසා. ඉස්සරහ දොරත් ලොක් කරගෙන, ටීවී එකත් වහගෙන මම කෙලින්ම ගියේ කාමරේට. කාමරේට ඇතුල් වුනේම දොර වහගෙනයි. එක දොරක් ඉතුරුයි. ඒ බැල්කනියෙ දොර. අම්ම කොච්චර කිව්වත් බැල්කනියෙ දොර වහගෙන නිදා ගන්න කියල මම කවදාවත් ඒ දොර වහන්නෙ නෑ. නිදහසේ ඇඳට වැටිල සිගරට් එක පත්තු කරගත්ත. මේක තමයි මම සිගරට් එක උපරිමයෙන් රස විඳින වෙලාව. පළමු දුම් උගුරෙන් පෙනහළු පුරවගෙන මම එකේ ඉඳන් දහයට ගණන් කළා. ඊට පස්සෙ හෙමීට ඒ දුමට එළියට එන්න ඉඩ දුන්න. එලියෙ අන්ධකාරයත්, කාමරේ ලයිට් එකේ දීප්තිමත් එළියත්, ඉඳහිට හමන හුළඟත්, සිගරට් දුමත්, මමත් එකට තනි වෙන මේ මොහොතට මම හරි ආසයි. අනික හරියටම දුම් වලල්ලක් යවන්නත්, එකේ සුන්දරත්වය විඳින්නත් පුලුවන් මේ වෙලාවට විතරයි. බැල්කනියෙන් එන හුළඟෙන් වෙනදට නම් කාමරේ පිරෙන දුම සැරෙන් සැරේ එලියට අරගෙන ‍යනව. එත් අද හුළඟට කම්මැලි හිතිල වගේ. මුළු කාමරේම දුමෙන් පිරිල. මේ දුමාරය අස්සෙන් මගේ හිත ආයෙත් දුවන්න පටන් ගත්ත. අර කෙල්ල දිහාවට දුවන්න පටන් ගත්ත. මම උත්සහ කළා ඇගේ රූපය මතකයට ගන්න. ඇඳුම මොකද්ද? ඩෙනිම් කලිසමක්ද? වෙන්න බෑ. ඩෙනිම් කලිසමක් කියල දැක්ක නම් ඇයි මට ඒකෙ පාට මතක නැත්තෙ? ඒ කියන්නෙ මම ඒක දැකල නෑ. ටී ෂර්ට් එකක්ද? බ්ලවුස් එකක්ද? මොන පාටද? ඒකත් මතක නෑ. පොතක් හරි මොකක් හරි අතේ තිබ්බා. ඒකත් මොකද්ද කියල මතක නෑ. ඒත් මට එක දෙයක් මතකයි. ඇගේ මූණ. ඇගේ කන්, ඇස්, නහය, කට හරියට සුදු කඩදාසියක පැන්සල් ඉරි වලින් කරපු චිත්‍රයක් වගේ මට මතකයි. හරියට හරි. ඒ කෙල්ල කරාබු දාල තිබුනෙත් නෑ. ඇයි ඒ කෙල්ල ඒ විදියට ආවෙ? බය නැතුව මගෙන් සිගරට් එකක් ඉල්ලුවෙ කොහොමද? ඇත්තටම ඈ සිගරට් බොනවද? මොන මඟුලද්ද, මට බෑ මේ ගැන තවත් හිතන්න. මේක දැන් මහ වදයක් වෙලා මට. අන්තිම සිගරට් උගුරත් ඇදල බට් එක මහපටැඟිල්ලටයි දබරැඟිල්ලටයි හිර කරල බැල්කනියෙන් එලියට විද්ද. ඇඳ ගාව ඉඳන් බැල්කනියට දුර වැඩියි. ඉතින් බට් එක එලියටම ගියේ නෑ. බැල්කනියෙ නතර වුනා. කමක් නෑ. ඕක නිවිල යයි. එහෙම හිතාගෙන මම ඔළුව කොට්ටෙ ඔබා ගත්ත. මං දන්නව. දැන් මට ලේසියෙන් නින්ද යන එකක් නෑ. ඉතින් මම බොහොම හෙමීට හිතෙන් එකේ ඉඳන් විස්සට ගනින්න පටන් ගත්ත. නින්ද යන්නෙ නැති වෙලාවට මම හැමදාමත් කරන්නෙ ඒක.
එක......................
දෙක...................
තුන....................
හතර..................
පහ....................
හය...................
හත..................
අට..................

5 comments:

  1. නමය....
    දහය...
    එකොලහ....

    ඉතිං???

    ReplyDelete
  2. කියපන් කියපන් ඉතුරු ටික...

    ReplyDelete
  3. WOW! its beautiful and so damn realistic!

    ReplyDelete
  4. wow its beautiful and sooo realistic! keep it up brother

    ReplyDelete
  5. නම දාපන් මචන් "දුමාරය" කියලා

    ReplyDelete